දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකපිට එම කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්. පාර්තිබන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකාරිනියන් දෙදෙනා මෙම මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශය භාරව කටයුතු කළ හැටන් දික්ඔය ප්‍රදේශයේ නිලධාරිනියක් සහ තවත් නිලධාරිනියක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, 2023, 2024 සහ 2025 යන වසරවලදී අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර ලබාගෙන ඇති බව මූලික විගණනයේදී අනාවරණය වී තිබේ.
ප්‍රතිලාභීන්ට දීමනා නොලැබීම සම්බන්ධයෙන් ලැබුණු නිර්නාමික ලිපියක් මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය විසින් සිදුකළ මාරුකිරීම්වලින් පසු, විගණන අංශ සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කළ පුළුල් විමර්ශනයකින් මෙම වංචාව අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලද මෙවැනි වංචා සිදුව ඇත්ද යන්න පිළිබඳව කඩිනමින් විගණනයක් සිදු කිරීමට නියමිතය.














