පේරාදෙණිය දංගොල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන ලේඩි හිල් ශාලාව මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් දේපළකි.
පිහිනුම් තටාක ඇතුළු සුඛෝපභෝගී පහසුකම් සහිත තරු පන්තියේ සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන මෙම හෝටලය, 88-89 කාලසීමාවේදී රටේ පැවැති අරාජික තත්ත්වය හමුවේ පවත්වාගෙන යා නොහැකි වූ තැන එකල සිටි දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහය මත පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත පවරා ඇඟ බේරා ගැනීමට එහි හිමිකරුවන් කටයුතු කර තිබේ.
ඉන් අනතුරුව මෙම ගොඩනැගිලි සංකීර්ණයේ කාමර සහිත කොටස විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන අංශයට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිල නිවාස ලෙස භාවිත කර තිබෙන අතර, උත්සව ශාලා දෙකක් ඇතුළත් ඉදිරිපස කොටස සංචාරක බංගලාවක් ලෙස භාවිතයට ගැනීමට කටයුතු කර තිබුණි.
දශක කිහිපයක් පැරණි මෙම ගොඩනැගිලි සංකීර්ණය විධිමත් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමේ අවශ්‍යතාවක් මීට වසර ගණනාවකට පෙර ඇති වූ නමුත්, ඒ සඳහා වැය කළ යුතු අධික පිරිවැය ඇස්තමේන්තු විශ්වවිද්‍යාලයට දරාගත නොහැකි තරම් විශාල වීමත්, එවැනි විශාල ආයෝජනයකින් ලැබිය හැකි ප්‍රතිලාභ සාපේක්ෂව අවම වීමත් හේතුවෙන් උපකුලපතිවරුන් ගණනාවක් යටතේ එම කාර්යය සඳහා ප්‍රමුඛතාවක් ලබා දී තිබුණේ නැත.
එහෙත් හිටපු උපකුලපති මහාචාර්ය ලමාවංශගේ පාලන කාලයේ අවසන් භාගයේදී මෙම කටයුත්ත විශේෂ ප්‍රමුඛතාවකින් යුතුව ආරම්භ කර තිබෙන අතර, ඒ සඳහා අතිවිශාල වැයබරක් දරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් මේ වන විට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු ඇණහිට තිබෙන අතර, එකී ගොඩනැගිල්ල යථාවත් කිරීම සඳහා තවත් අතිවිශාල වියදමක් දැරිය යුතු තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයට සම්බන්ධ නිලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ මෙම ව්‍යාපෘතිය ගොඩගත නොහැකි තරම් අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන බවයි.
මෙම ව්‍යාපෘතියේ අසාර්ථකත්වය කල්තබාම දුටු වැඩ ඉංජිනේරු පුෂ්පික පණ්ඩිතරත්න නැමැත්තා පසුගිය කාලයේ හදිසියේ සේවයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙන්නේද මෙම අසාර්ථක ව්‍යාපෘතියේ වගකීම තමන් පිට වැටේවියි යන බිය නිසා බව පැවසෙයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් පවා සැපයීමට අපොහොසත් වාතාවරණයක මහජන මුදල් කාබාසිනියා කරන මෙවැනි අසාර්ථක ව්‍යාපෘති ප්‍රමුඛතාවයෙන් යුතුව පවත්වාගෙන ගොස් තිබෙන්නේ මන්දැයි සොයා බැලීම රජයේ විගණන අංශවල වගකීමකි. මෙවැනි නාස්තිකාර සහ නොවැදගත් ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලැබී තිබීමේ රහස කොමිස් කුට්ටි වීමටද බැරිකමක් නැත














