පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රියන්ත ෆොන්සේකා නමැත්තාට එරෙහිව සිසුන්, ආචාර්යවරුන් මෙන්ම තවත් පිරිස් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් තවමත් නිසි පියවර ගෙන නොමැති බව අප වෙත වාර්තා වේ.
මෙම කථිකාචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වය ලබා විදේශගත වීමේදී ඒ වෙනුවෙන් අත්සන් කරන ලද බැඳුම්කර ගිවිසුම් කොන්දේසි කඩ කර සේවය හැර ගිය පුද්ගලයෙකු වන අතර, ඊට අදාළව කොළඹ විශ්වවිද්‍යාලය වෙත ගෙවිය යුතු රුපියල් ලක්ෂ 65 කට අධික එකී බැඳුම්කර මුදල මේ වන තෙක් නොගෙවා පැහැර හැර තිබෙන අයෙකු බව ද සඳහන් වේ.
මෙම තොරතුරු සඟවමින් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත වංචනික ලෙස බැඳී තිබෙන මොහු, එම විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සේවය කරමින් සිටින අතරතුර නියමිත අධ්‍යයන කාලය තුළ දේශන නොපැවැත්වීම, විභාග වංචා සහ සේවය පැහැර හැරීම ආදී විෂමාචාරයන් ගණනාවක් සම්බන්ධයෙන් එකී අධ්‍යයනාංශයේ සිසුන් සහ අධ්‍යයනාංශ ප්‍රධානියා විසින් සිදු කරන ලද පැමිණිලි ගණනාවකට අනුව පවත්වන ලද මූලික විමර්ශන දෙකකින් බැලූ බැල්මට පෙනෙන වරදවල් සිදු කර ඇති බවට නිර්දේශ කර ඇත. ඒ අනුව මේ වන විටත් මොහු විධිමත් විනය පරීක්ෂණ දෙකකට මුහුණ දී සිටින්නෙකු බව ද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා තවමත් කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන නිසා, ඔහුට එරෙහි විනය පරීක්ෂණවල සාක්ෂිකරුවන් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම ආදී පරීක්ෂණයේ නිගමනවලට සෘජුවම බලපාන කටයුතුවල නිරත වෙමින් සිටින බවට ද චෝදනා එල්ල වේ.
මූලික විමර්ශන දෙකකින් විෂමාචාර චෝදනා එල්ල වී විධිමත් විමර්ශන දෙකක් කැඳවා තිබෙන තත්ත්වයක් තුළ පවා මෙම පුද්ගලයාගේ වැඩ තහනම් කිරීමට විශ්වවිද්‍යාලය විසින් කටයුතු කර නැත්තේ මොහු උපකුලපති මධුජිත්ගේ සුරතලෙකු වන නිසා බවට ද තොරතුරු වාර්තා වේ.
















