පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ලලිත කලා අධ්‍යයන අංශයේ, කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටි, එස්.එල්. ප්‍රියන්ත ෆොන්සේකා යන අය 2026 අගෝස්තු 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි වැඩ තහනමකට ලක් කිරීමට එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් විසින් කටයුතු කර තිබේ.
2024/2025 අධ්‍යයන වර්ෂයේ පළමු සමාසිකයට නියමිත දේශන පැවැත්වීම පැහැර හැරීම සම්බන්ධයෙන් පවත්වන ලද මූලික විමර්ශන වාර්තාව සලකා බලන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලක සභාව එල්ල වී තිබුණ චෝදනාවන්හි බරපතළකම සැලකිල්ලට ගෙන අදාළ කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කොට විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඊට අනුකූලව උපකුලපතිවරයා විසින් 2026 අගෝස්තු 28 දිනැතිව මෙම වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත් කර ඇත.
මෙම වැඩ තහනමට අදාළව ප්‍රියන්ත ෆොන්සේකා යන අයගේ වැටුප අඩකින් කපාහැර තිබෙන අතර උපකුලපතිවරයාගේ අනුමැතියකින් තොරව විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම තහනම් කිරීමට ද පියවර ගෙන ඇත. රුපියල් ලක්ෂ 65 බැඳුම්කර කඩකිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන මෙම කථිකාචාර්යවරයාගේ තවත් විෂමාචාරයන් ගණනාවක් සම්බන්ධයෙන් මූලික විමර්ශන දෙකක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ද අපට දැනගන්නට ලැබී ඇත.
මෙම පුද්ගලයා පවතින රජයේ දේශපාලන සබඳතාවයන් උපයෝගී කරගෙන ඔහුට එල්ල වී තිබුණ චෝදනා යටපත් කර ගැනීමට පසුගිය කාලසීමාවේදී උත්සාහ ගෙන තිබුණ අතර එකී තක්කඩි උත්සාහයන් පරාජය කිරීම සඳහා TTV News පසුගිය කාලසීමාවේ හෙළිදරව් කිරීම් ගණනාවක් සිදු කරන ලදී. එකී හෙළිදරව් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසට දේශපාලන බලපෑම් හකුලා ගැනීමට සිදුවීම හේතුවෙන් ඔහුට එරෙහි විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද පෙනෙන්නට තිබේ. ජනතාවට වගකියන මාධ්‍ය ආයතනයක් ලෙසට මෙම කටයුත්ත සම්බන්ධයෙන් TTV News නිරන්තර අවධානයෙන් පසුවන බව ද මෙහි සටහන් කර තබමු.














