අමෙරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි නොසන්සුන්කාරී මුහුණුවරක් ගනිමින් බොරතෙල් මිල ගණන් සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබේ. ඒ අනුව ‘බ්‍රෙන්ට්’ වර්ගයේ බොරතෙල් බැරලයක් එක්සත් ජනපද ඩොලර් 96ක ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ‘ඩබ්ලිව්.ටී.අයි.’ වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 91 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ දින කිහිපයක් තුළ ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කරමිනි.
මෙම හදිසි මිල පිම්ම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගෝලීය තෙල් ප්‍රවාහනයේ අත්‍යවශ්‍ය මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හමුදාමය උණුසුම උග්‍ර වීමත් සමඟ ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බරපතළ බාධාවන්ය. කලාපීය භූ-දේශපාලනික අස්ථාවරත්වය තවදුරටත් ගැඹුරු වීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ බලශක්ති අර්බුදයක අවදානම ඉහළ ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන ගියහොත් ගෝලීය වශයෙන් නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය ඉහළ ගොස් එය සමස්ත ලෝක ආර්ථිකයටම දැඩි උද්ධමනකාරී බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. හමුදාමය ගැටුම් විසඳී හෝමුස් සමුද්‍ර සන්ධියේ සාමාන්‍ය නාවික කටයුතු යථා තත්ත්වයට පත් වන තෙක් ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි දැඩි උච්චාවචනයන් අපේක්ෂා කළ හැකි බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.














