පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් වැටුප් හා සේවක කොමිෂන් සභාවේ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ඉහළ පෙළේ තනතුරු 17ක් පවත්වාගෙන යමින් රුපියල් ලක්ෂ ගණනක වැටුප් ගෙවා තිබෙන බව අනාවරණය වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් කමිටු සමාලෝචන රැස්වීම පසුගිය අගෝස්තු 19 වන දින පැවැති අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර එම තත්ත්වය කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවන බව කෝප් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව සටහන් කර තිබුණේ අධ්‍යක්ෂ (ආරක්ෂක), මහජන සම්බන්ධතා නිලධාරී ඇතුළු නිසි අනුමැතිය නොලත් තනතුරු 4ක් පවත්වාගෙන යන බව වුවද ඊට පිළිතුරු දෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් කියා සිටියේ එවැනි අනුමැතිය නොලත් ඉහළ පෙළේ තනතුරු 17ක් පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන බවයි.
එහිදී කෝප් කමිටු සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ එවැනි අනුමත නොවන තනතුරු සඳහා වැටුප් ගෙවුවේ කෙසේද යන්නයි. මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර උපකුලපති මධුජිත්ගෙන් දැඩි ලෙස විමසා සිටියේ රාජ්‍ය මුදල් එසේ හිතුමනාපයේ වියදම් කිරීමට බලය ලැබුණේ කෙසේද යන්නයි.
ඒ සඳහා කිසිවෙකුගේ බලය අවශ්‍ය නොවන බවත් පාලක සභාවට ඒ බලය ඇති බවත් උපකුලපතිවරයා කියා සිටි අවස්ථාවේදී කෝප් කමිටු සභාපතිවරයා අවධාරණය කර සිටියේ පාලක සභාවට තමන් සිතූ සිතූ දෙය කිරීමට බලයක් ඇතැයි සිතීම වැරදි බවය. තමන්ට බලය ලැබෙන ආකාරය සහ එහි සීමාවන් පිළිබඳව සෑම ආයතනයකටම අවබෝධයක් තිබිය යුතු වන බවද කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















