පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වැනි උපාධි ප්‍රදානෝත්සවය සනිටුහන් කරමින් එම වෛද්‍ය පීඨයේ ඉතිහාසය අලුත් කළ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා විය. එහිදී වෛද්‍ය පීඨයේ කේ. ඩබ්ලිව්. ආර්. එන්. එන්. රණසිංහ ශිෂ්‍යාව, සිය උපාධි පාඨමාලාවේ අවසන් වසරේ ප්‍රධාන විෂයන් පහටම විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින් පළමු පන්තියේ ගෞරව උපාධියක් හිමිකර ගැනීමට සමත් වූවාය. වෛද්‍ය විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ප්‍රසව හා නාරිවේදය, ළමා රෝග විද්‍යාව සහ මානසික රෝග විද්‍යාව යන විෂයන් සඳහා ඇය දැක්වූ මෙම විශිෂ්ටත්වය, වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අතිශය දුර්ලභ සිදුවීමක් ලෙස විද්වතුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
ඇයගේ මෙම අසමසම ජයග්‍රහණය සනිටුහන් කරමින් රන් පදක්කම් පහක් සහ සුවිශේෂී ත්‍යාග තුනක් පිරිනැමීම සිදු කෙරිණි. ඒ අනුව ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනැමෙන Garvin රන් පදක්කම, වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන Rockwood සහ Dhandishaw Dadhabhoy රන් පදක්කම්, ළමා රෝග විද්‍යාව සඳහා පිරිනැමෙන Chandra Abeysekera රන් පදක්කම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය නියෝජනය කරමින් පිරිනැමෙන විශිෂ්ටතා රන් පදක්කම ඇය සතු විය. මීට අමතරව, Exhibition ත්‍යාගය සහ ශල්‍ය වෛද්‍ය හා ළමා රෝග විද්‍යා ක්ෂේත්‍රයන්හි සුවිශේෂී ත්‍යාග ද්විත්වයකින් ඇය පිදුම් ලැබුවාය.
මෙම උත්සවයේදී සමස්ත උපාධිධාරීන් 3,976 දෙනකු වෙත උපාධි ප්‍රදානය කළ අතර, සිව්දෙනකු වෙත විශේෂ ගෞරව උපාධි පිරිනැමීම ද සිදු විය. රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගත පරපුරට විශිෂ්ට ආදර්ශයක් සපයන රණසිංහ මෙනවියගේ මෙම ජයග්‍රහණය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරන්නකි. ඉදිරියේදී ඇය වෛද්‍ය වෘත්තිය තුළින් මෙරට සෞඛ්‍ය සේවාවට විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.
















