ඓතිහාසික මිහින්තලා පුදබිමට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සිහිපත් කරමින්, මෙවරත් අනුරාධපුරය ඇතුළු පුදබිම් රැසක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආගමික වන්දනාව සඳහා සැරසී තිබේ.
මෙවර පොසොන් උත්සවයේ තේමාව වන්නේ “අනුබුදු ගුණ බෙලෙන් යුධ ගිනි නිවේවා” යන්නයි. ජාතික පොසොන් සතිය ලෙස ජුනි 26 වැනිදා සිට ජුලි 02 වැනිදා දක්වා කාලය නම් කර ඇත. මිහින්තලා පුදබිම, ජය ශ්‍රී මහා බෝධිය, තන්තිරිමලය ඇතුළු පුදබිම් කේන්ද්‍ර කරගනිමින් පිරිත් දේශනා, ආලෝක පූජා සහ දානමය පුණ්‍යකර්ම රැසක් සංවිධානය කෙරේ. මිහින්තලා ආලෝක පූජාව 28, 29 සහ 30 යන දිනවල පැවැත්වේ.
බැතිමතුන්ගේ පහසුව සඳහා ලංගම බස් රථ 750ක් යොදවා ඇති අතර, කොළඹ සිට අනුරාධපුරය දක්වා අමතර දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය සේවාවක් ද 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. පොලිස් නිලධාරීන් 3500කට අධික පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර, වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක සේවා 24 පුරා ක්‍රියාත්මක වේ. එසේම විශේෂ වෛද්‍ය කඳවුරු සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ද පුදබිම් ආශ්‍රිතව පිහිටුවා තිබේ.
පොසොන් සමයේ අනුරාධපුරයේ දිනකට එකතු වන කසළ ප්‍රමාණය ටොන් 500ක් දක්වා ඉහළ යන බැවින්, ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන නොඑන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. දන්සල්වල පොලිතීන් භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
ප්‍රවීණ ජනශ්‍රැති පර්යේෂක සෝමරත්න බෝගස්වැව මහතා සිහිපත් කරන්නේ, අතීතයේ ගැමියන් අතිශය දුෂ්කරතා මධ්‍යයේ ඉතා භක්තිමත්ව සිදු කළ පොසොන් වන්දනාව අද වන විට සැණකෙළියක් බවට පත්වෙමින් තිබීම කනගාටුවට කරුණක් බවයි. එබැවින් මෙම උතුම් පොහොය දිනයේදී අතීතයේ පැවති ගුණාත්මක වටිනාකම් සහ පරිසර හිතකාමී බව කෙරෙහි වන්දනාකරුවන්ගේ වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි.
















