පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ සහ සහකාර ලේඛකාධිකාරීවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සිය සේවයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. පරිපාලනමය වශයෙන් සිදුකරන පලිගැනීම් සහ උසස් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මෙම ඉල්ලා අස්වීම්වලට ප්‍රධාන හේතු වී ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය යටතේ පසුගිය කාලසීමාවේදී සහකාර ලේඛකාධිකාරී (නීති හා ලේඛන) ලෙස කටයුතු කළ ෆාතිමා ෆවාසා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී මංජුල විජේසුන්දර යන නිලධාරීන් සිය සේවයෙන් ඉල්ලා අස්වී ඇත.
විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශය තුළ මෙම ඉල්ලා අස්වීමේ ප්‍රවණතාව බරපතල ලෙස වර්ධනය වී ඇති අතර, මාස තුනක කෙටි කාලයක් තුළ ආරක්ෂක නිලධාරීන් හයදෙනෙකු සේවයෙන් ඉල්ලා අස්වී තිබේ. නාමල් බණ්ඩාර, ගයාන් මධුෂංක, යූ.ජී.බී. බණ්ඩාර, නිලන්ත ඉගුරුවත්ත, සමන් කුමාර සහ වෛද්‍යරත්න යන නිලධාරීන් එලෙස ඉල්ලා අස්වූ අය අතර සිටින බව විශ්වාසදායක තොරතුරු පවසයි. ආරක්ෂක අංශයේ මුළු නිලධාරීන් සංඛ්‍යාව හැටකට ආසන්න බැවින්, මාස තුනක් තුළ 10%ක පමණ පිරිසක් ඉල්ලා අස්වීම බැරෑරුම් තත්ත්වයක් ලෙස සැලකේ.
මීට අමතරව, විවිධ පීඨයන්ට අනුයුක්ත ලිපිකරු සහ වැඩ සහායක තනතුරුවල සේවය කරන නිලධාරීන් රැසක්ද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තොරතුරු වාර්තා වී ඇත.














