පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කළ ආචාර්ය සිතුම් කරුණානායක නමැත්තා, ඔහුට එරෙහි විනය පරීක්ෂණයට පෙර ඉල්ලා අස්වීමට දැරූ උත්සාහයට ඉඩ නොදෙමින් ඔහුගේ වැඩ තහනම් කර විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කටයුතු කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයක් වන අරුණාචලම් ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ව්‍යාජ මිල ගණන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කරුණානායක නමැත්තාට සෘජු චෝදනා එල්ල වී තිබුණි. එකී වංචාව පිළිබඳව වූ විගණන නිරීක්ෂණ පදනම් කරගනිමින් 2023 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී (COPE) මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
එහිදී මෙවැනි වංචා සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල බලධාරීන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව කෝප් කමිටුවේ දැඩි විවේචනයට ලක් වූ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි අභ්‍යන්තර විනය පරීක්ෂණ ආරම්භ කරන ලෙස නිර්දේශ කෙරිණි. එසේම ව්‍යාජ මිල ගණන් ඉදිරිපත් කළ ව්‍යාපෘති කළමනාකාරවරයා ඇතුළු වගකිවයුත්තන්ට එරෙහිව රටේ පොදු නීතිය යටතේ පොලීසියට පැමිණිලි කර, අධිකරණ ක්‍රියාදාමයක් හරහා උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවද කෝප් කමිටුව වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.
තමන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව දැනගත් වහාම කරුණානායක නමැත්තා ඉන් ගැලවීම සඳහා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී පිටව යාමට උත්සාහ කර ඇත. එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලක සභාව එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ වැඩ තහනම් කිරීමටත්, අදාළ විමර්ශන ඉදිරියට ගෙන යාමටත් තීරණය කළේය.
ඒ අනුව පවත්වන ලද මූලික විමර්ශනයේදී කරුණානායක නමැත්තාට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් කැඳවීමට නිර්දේශ වී ඇති අතර, දැනට චෝදනා පත්‍ර නිකුත් කර විධිමත් විනය පරීක්ෂණ ක්‍රියාදාමය පවත්වාගෙන යන බව වාර්තා වේ.














