පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුර නීත්‍යානුකූල නොවන තනතුරක් බව පසුගිය අගෝස්තු 19 වන දින පැවැති කෝප් කමිටු සමාලෝචනයේදී හෙළිදරව් වී තිබේ. ඒ අනුව මේ වන විටත් එම නාමික තනතුරෙහි රැඳී සිටින බව කියමින් එකී තනතුරට අදාළ දීමනා සහ පහසුකම් නීති විරෝධී ලෙස භුක්ති විඳින මහේෂ් අබේවික්‍රම නැමැත්තාට එකී වරප්‍රසාද අහිමි වී යන තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් එම හේතුව මතම ඔහු විශාල කලබලයකට පත්ව තිබෙන බවත් වාර්තා වේ.
රාජ්‍ය අංශයේ ස්ථාපිත තනතුරු සඳහා වැටුප් හා සේවක කොමිෂන් සභාවේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි විය යුතුය. එම තනතුරු සඳහා නියමිත බඳවා ගැනීමේ පටිපාටියක් සහ වැටුප් ව්‍යූහයක් ඇති අතර වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් මුදල් වෙන් කිරීමක් සිදු කළ යුතුවේ. මෙකී නීත්‍යානුකූල තත්ත්වයන් කිසිවක් නොමැතිව මෙම තනතුර පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ සඳහා වසර ගණනාවක් මහජන මුදලින් දීමනා ගෙවා තිබේ. මහජන සම්බන්ධතා නිලධාරී යනුවෙන් වන තනතුරක් නොමැතිව එසේ වැටුප් සහ දීමනා ගෙවීමට හැකියාවක් නොමැති බව කෝප් කමිටුවේදී පැහැදිලිව අවධාරණය කර තිබේ.
මෙම තත්ත්වය මත මෙම තනතුර නීති විරෝධී ලෙස මේ වන විට දරමින් සිටි අබේවික්‍රම නැමැත්තා විශාල කලබලයකට පත්ව සිටින අතර නිතිපතා ඉහළ නිලධාරීන් හමුවෙමින් සහ ගතු කියමින් තම තනතුර රැක ගැනීමට විශාල වෙහෙසක් ගනිමින් සිටින බවද වාර්තා වේ.















