බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශීය වශයෙන් සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීමේ අරමුණින් යුතු වැඩපිළිවෙළ යටතේ ගාල්ල සහ බුස්ස බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
අධිකරණ අමාත්‍යාංශයේ තොරතුරු අනුව, බන්ධනාගාරගත වන පිරිස අවම කිරීම සඳහා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ යටතේ මසකට වාර්තා 7,500ත් 9,000ත් අතර සංඛ්‍යාවක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. එසේම, මත්ද්‍රව්‍යවල දළ බර ග්‍රෑම් 100ට අඩු නම් මහාධිකරණය මඟින් ඇප ලබා ගැනීමට අදාළ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මෙන්ම ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර, මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය නිලධාරීන් වෙනුවෙන් සාමාන්‍ය රාජ්‍ය සේවයේ වන්දි ක්‍රමයට වඩා විශේෂ වන්දියක් ලබාදීමට කමිටුවක් පත් කර ඇත. ඔවුන්ගේ දීමනා ඉහළ නැංවීම සඳහාද අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් පවතී. බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ගෙන ඒම වැළැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බවත්, පාතාලයට හෝ කුඩු ජාවාරම්වලට කිසිදු ඉඩක් නොදී රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට බුස්ස බන්ධනාගාර අධිකාරී ජීවක ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා ඇතුළු බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.















