පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවට අනුයුක්තව පළමු වසර අධ්‍යයන කටයුතු සාර්ථක ලෙස නිම කළ දක්ෂිකා, දෙවැනි වසරේ සිට විශේෂවේදී උපාධියක් හැදෑරීම සඳහා බලාපොරොත්තු සහගතව සිටියාය. ඇය පළමු වසරේ හැදෑරූ ඉංග්‍රීසි, මනෝවිද්‍යාව සහ කළමනාකරණය යන විෂයන් තුනෙන්ම විශේෂවේදී උපාධියක් හැදෑරීම සඳහා දක්ෂිකා සුදුසුකම් ලබා තිබුණි. එහෙත් ඇය වඩාත් ඇළුම් කළ මනෝවිද්‍යා විෂය ධාරාවෙන් විශේෂවේදී උපාධිය හැදෑරීමට ඇය දැඩි ආශාවකින් පසුවිය. මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ ලැයිස්තුවේ දක්ෂිකාගේ නම ඇතුළත්ව තිබූ බැවින් ඒ පිළිබඳව ඇයට සැකයක් තිබුණේ නැත.
එහෙත් දක්ෂිකාට එරෙහිව අදෘශ්‍යමාන බලවේගයක් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඇය මනෝවිද්‍යාව විෂය ධාරාව සඳහා ලියාපදිංචි වීමට කටයුතු කළ අවස්ථාවේදී, මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයනාංශ ප්‍රධානියා විසින් ඇය වෙත දන්වා සිටියේ දක්ෂිකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත්තේ අතිරේක බඳවාගැනීම් (Additional intake) යටතේ බැවින්, එම අතිරේක බඳවා ගැනීමට අදාළ විෂය වූ ඉංග්‍රීසි විෂයමාලාව හැර වෙනත් විෂය මාලාවක් සඳහා විශේෂවේදී උපාධියක් හැදෑරීමට ඇය සුදුසුකම් නොලබන බවයි. ඒ අනුව මනෝවිද්‍යාව විෂය ධාරාව තුළ විශේෂවේදී උපාධියක් හැදෑරීම සඳහා වූ දක්ෂිකාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.
මෙම අසාධාරණ තීරණයට එරෙහිව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට තීරණය කළ දක්ෂිකා, 2018-01-10 දිනැතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත (UGC) අභියාචනයක් යොමු කරමින් තමන්ට මනෝවිද්‍යාව විෂය ධාරාවෙන් විශේෂවේදී උපාධියක් හැදෑරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. මෙම අභියාචනය සම්බන්ධයෙන් සලකා බැලීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වැටහී ගොස් ඇත්තේ, එම අධ්‍යයන වර්ෂය සඳහා වන බඳවාගැනීමේ අත්පොත සකස් කිරීමේදී සිදුව තිබූ යම් අතපසුවීමක් හේතුවෙන් දක්ෂිකාට මනෝවිද්‍යාව විෂය ධාරාව ඉල්ලුම් කිරීම මගහැරී ගොස් තිබූ බවය.
ඒ අනුව, 2018 පෙබරවාරි 01 වන දින පැවැති 980 වැනි සභා වාරයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කළේ, දක්ෂිකාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව විෂය ධාරාව යටතේ විශේෂවේදී උපාධිය හැදෑරීමට ඉඩ දිය යුතු බවය. මෙම තීරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අංක UGC/AD/05 දරණ 2018 පෙබරවාරි 19 දිනැති ලිපිය මගින් දක්ෂිකා වෙතද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙතද විධිමත් ලෙස දන්වා යවා තිබුණි.
– අංශ ප්‍රධානියා UGC යටත් උඩින් ගිය හැටි ලබන සතියේ කියවන්න
















