ගුත්තිල කාව්‍යයේ “ඉඳ ඉඳ එක වෙහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ බිඳ දුක් සසර, අහෝ දෙව්දත් නොදිටි මොක්පුර” යනුවෙන් සඳහන් වන කවියෙන් කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි ආරාමයේම ජීවත් වෙමින් සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව තිබුණද, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව නිසා දේවදත්ත තෙරුන්ට උතුම් නිර්වාණ පුරය දැකගැනීමට නොහැකි වූ ආකාරයයි. මෙම කාව්‍ය සංකල්පය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත්ගේ වර්තමාන හැසිරීමට ද අපූරුවට ගැලපෙන බව විශ්වවිද්‍යාල ප්‍රජාව පවසති.
රාජ්‍ය ආයතනවල කාර්යසාධනය, මූල්‍ය විනය සහ කාර්යක්ෂමතාව නැංවීම උදෙසා පාර්ලිමේන්තු කෝප් කමිටුව විශාල කැපකිරීමක් කරමින් ලබා දෙන මඟපෙන්වීම් බොහොමයක් රාජ්‍ය ආයතන පිළිගනිමින් වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු කරයි. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඊට වෙනස්ව, කෝප් කමිටු මඟපෙන්වීම් කුණු කූඩයට දමමින් කෝප් කමිටුවට “කොකා පෙන්වා” කල් මැරීම මඟින් ප්‍රශ්නවලින් මඟහැර යාමට උත්සාහ කරන බව වාර්තා වේ.
පසුගිය අගෝස්තු 19 වන දින පැවැති කෝප් කමිටු රැස්වීමෙන් පසුව ආපසු පේරාදෙණිය බලා එන අතරමඟදී, අවන්හලක නතර වී මත්පැන් සහ ආහාර ගන්නා අතරතුර ඇති වූ කතාබහකදී එක් ආචාර්යවරයෙකු උපකුලපති මධුජිත්ගෙන් විමසා ඇත්තේ ආරක්ෂක අංශයේ අර්බුදයට මාසයක කාලයක් තුළ විසඳුමක් ලබා දිය යුතු නොවේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් උපකුලපති මධුජිත් ප්‍රකාශ කර ඇත්තේ ඒ ගැන කලබල විය යුතු නැති බවත්, ඊළඟ කෝප් රැස්වීම පැවැත්වෙන්නේ තවත් වසරකින් හෝ දෙකකින් බැවින් ඒ වන තෙක් මෙම තත්ත්වයෙන්ම කල් මැරීම එකම විසඳුම වන බවත්ය.
උපකුලපති මධුජිත්ගේ මෙම වගකීම් විරහිත ප්‍රකාශය සම්බන්ධයෙන් කෝප් කමිටුව මෙන්ම ජනාධිපතිවරයා ද වහා සොයා බැලිය යුතු බවත්, අදාළ නිර්දේශ නියමිත කාලසීමාව තුළ ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව පසු විපරම් කළ යුතු බවත් එම අවස්ථාවට සහභාගී වූ ආචාර්යවරුන් කිහිපදෙනෙකුම අවධාරණය කර ඇත.













