අතිපූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික පූජකතුමන්ගේ කායික හා මානසික සෞඛ්‍ය සුවතාව තහවුරු කිරීමේ අරමුණින් ‘දිවියට සුවයක් – දහමට සවියක්’ විශේෂ සර්ව ආගමික වෛද්‍ය සායනයක් බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානයේදී පවත්වා තිබේ.
බදුල්ල මුතියංගණ රජමහා විහාරාධිකාරී පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක එකමුතුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ අධීක්ෂණය යටතේ පැවති මෙම සායනයේදී කායික රෝග, දන්ත, අක්ෂි සහ ආයුර්වේද ඇතුළු විවිධ රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදී ඇති අතර, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, අමාත්‍යවරුන් වන සමන්ත විද්‍යාරත්න, දිනිඳු සමන් හෙන්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගේ දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.













