27 April 2024
#දේශීය

ජනතා සේවයන් ඉටු කිරීම රාජ්‍ය ප්‍රථිපත්ති වලට එහා ගිය රාජ්‍ය සේවකයාගේ වගකීමක් – රාජ්‍ය ඇමැති ශෙහාන්

වසංගත කාල සීමාවේ රජයට කුමන මුල්‍ය අර්බුදයන් තිබුණද, එහිදී රාජ්‍ය සේවකයාගේ වැටුප් කප්පාදු නොකර රැක බලාගෙන කටයුතු කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුක වත්මන් ආණ්ඩුව කටයුතු කළ බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේදී අද(03) දින නව වසරේ රාජකාරි ආරම්භ කරමිනි.

පවතින නීති රාමු තුළ ම කටයුතු කිරීමේදි වසංගත කාලයේ අත පසු වුණ ජනතා සේවය මග හැරෙන බවත් එම පිරිසට සේවාවන් නැවත ලබා දීම රාජ්‍ය ප්‍රථිපත්ති වලට එහා ගිය රාජ්‍ය සේවකයාගේ වගකීමක් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

රාජ්‍යඅමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය ලබා ගැනීමට නොහැකිව අපහසුතා වලට පත් වෙච්ච ජනතාවගේ අවශ්‍යතා නැවත හදුනාගෙන නැවත ඒවා ඉටු කිරීම අපි සියලු දෙනාගේම වගකීමයි. එය රාජ්‍ය ප්‍රථිපත්ති වලට එහා ගියපු රාජ්‍ය සේවකයාගේ වගකීමක් ලෙසයි මම දකින්නේ. දැනට පවතින නීති රීති රාමු තුළම අපි කටයුතු කළොත් අර අත පසු වෙච්ච ජනතාවගේ බලාපොරොත්තු එසේත් නැතිනම් අවශ්‍යතාවයන් අපිට ඉටු කරන්න බැරිව යනවා. අපිට වගකීමක් තිබෙනවා පසුගිය මාස කිහිපය තුළ අපහසුතා වලට පත් වෙචිච මහජනතාවගේ අවශ්‍යතාවයන් නැවත ඉටු කරන්න. පසුගිය කාලයේ ජනාධිපතිවරයා තීරණයක් ගත්තා මොන ආර්ථික අපහසුතාවයක්, මුල්‍ය අපහසුතාවයක් රජයට තිබ්බත් අපේ රටේ රාජ්‍ය සේවකයාව රැක බලා ගන්න. රාජ්‍ය සේවකයාට ඒ ලැබිච්ච වේතනය වගේම අනිකුත් කාරනා සියල්ල රැක බලා ගන්න ජනාධිපතිවරයා භාරගත්තා. ඒ අයුරින්ම ඒ අය වැටුප් ලබා ගත්තා. අද වන විට අපේ රටේ කොවිඩ් පාලනයක් තිබුණට අසල්වාසි රටවල් වල, බොහෝ දියුණුයි කියන රටවල් වල ඉතා සීඝ්‍රයෙන් අලුත් කොවිඩ් ප්‍රබේද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ නිසා මේ රට සුරක්ෂිතව තියා ගැනීම පළවෙනි වග කීම වෙනාවා වගේම , අපේ රට ඉස්සරහට යද්දි අනිත් රටවලුත් සුරක්ෂිත වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ හින්දා අපි සියලු දෙනා අපේ මහ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ රාජ්‍ය ප්‍රථිපත්තිය අධිස්ථාන කරගන්න ඕනේ.” යැයි එහිදී පැවැසීය.

මෙම අවස්තාව සඳහා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, අතිරේක ලේකම්වරුන් වන නාලිකා පියසේන, සී.ඩී කළුආරච්චි , හේමා පෙරේරා, ආර්.එම්.පී.රත්නායක , සෞභාග්‍යා කාර්යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වසන්ත ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු කාර්යය මණ්ඩලය සහභාගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *