එළඹෙන ඉරිදා (ජූනි 07) පැවැත්වීමට නියමිත පේරු රාජ්‍යයේ (Peru) තීරණාත්මක ජනාධිපතිවරණයේ දෙවන වටයේ (Runoff) ප්‍රතිඵලය තීරණය කිරීමේ ප්‍රධාන බලවේගය බවට එරට සිටින ලක්ෂ පහකට අධික සුළු පරිමාණ සහ අවිධිමත් රන් පතල්කරුවන්ගේ ඡන්ද පදනම පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2016 වසරේදී හඳුන්වා දී 2020 දී අවසන් වීමට නියමිතව තිබූ REINFO නැමති පරිපාලන වැඩසටහන යටතේ මෙම පතල්කරුවන්ට දැඩි පාරිසරික හෝ මෙහෙයුම් බලපත්‍ර නොමැතිව ලිහිල් රෙගුලාසි යටතේ කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබිණි. කෙසේ වුවද, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මෙම අවිධිමත් පතල් ක්ෂේත්‍රයේ බලපෑම දැඩි ලෙස ව්‍යාප්ත වූ අතර, දේශපාලන බලපෑම් මත මෙම ලිහිල් නීති පද්ධතිය වරින් වර දීර්ඝ කිරීමට පියවර ගැනුණි.
දත්ත වාර්තාවලට අනුව, පේරු රාජ්‍යය තුළ දැනට මෙවැනි අවිධිමත් පතල්කරුවන් 500,000ක් පමණ සක්‍රියව සිටින අතර, ඔවුන් 2025 වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 11ක් වටිනා රන් අපනයනයක් සිදුකර තිබේ. එය රටේ සමස්ත රන් අපනයනයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකි. ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟී ඇති මෙම දැවැන්ත ආර්ථික සහ ඡන්ද බලවේගය තමන් සතු කරගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණයේ අවසන් වටයට සුදුසුකම් ලබා සිටින දක්ෂිණාංශික කොන්සර්වේටිව් අපේක්ෂිකා කීකෝ ෆුජිමෝරි (Keiko Fujimori) සහ වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස් (Roberto Sanchez) යන දෙදෙනාම දැඩි උත්සාහයක නිරත වෙති.
දැනට නිකුත් වී ඇති මත විමසුම් සමීක්ෂණවලට අනුව කීකෝ ෆුජිමෝරි සුළු ඉදිරියකින් පසුවන නමුත්, තරගය ඉතාමත් කරට කර මට්ටමක පවතින බව වාර්තා වේ. 2021 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ෆුජිමෝරි, පේද්‍රෝ කැස්ටිලෝ හමුවේ පරාජයට පත්වූයේ 0.25%ක (ඡන්ද 45,000ක) ඉතා සුළු පරතරයකින් වන අතර, කැස්ටිලෝ ජයග්‍රහණය කළ ග්‍රාමීය පතල් කලාපවල වැඩි බලයක් මෙවර වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස් සතුව පැවතීම හේතුවෙන් ඉරිදා පැවැත්වෙන ඡන්ද විමසීම අතිශය තීරණාත්මක වනු ඇතැයි විදේශීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















