ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් මෙවර පොසොන් උත්සවයට සමගාමීව ප්‍රථම වරට “ජාතික බාලදක්ෂ පොසොන් කලාපය” කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය ජූනි 28 සහ 29 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම උත්සවයේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමනායක මහතා සහ ජාතික බාලදක්ෂ පොසොන් කලාප කමිටුවේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පසුගිය දින (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම පොසොන් කලාපය සංවිධානය කෙරේ.
ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා විහිදෙන මෙම පොසොන් කලාපය තුළ ආගමික භක්තිය, සංස්කෘතික වටිනාකම් සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කෙරෙන අංග රැසක් ඇතුළත් වේ. විදුලි ආලෝකයෙන් සැරසුණු තොරණ, පහන් කූඩු ප්‍රදර්ශන, මිහින්තලා අනුරූ, භක්ති ගීත ප්‍රසංග සහ දන්සැල් ඇතුළු විශේෂාංග රැසක් මෙහිදී දැකගත හැකි වනු ඇත.
















