පිලිපීන උප ජනාධිපතිනි සාරා දුතර්තේට (Sara Duterte) එරෙහි දෝෂාභියෝග නඩු විභාගය සඳහා එර රට සෙනෙට් මණ්ඩලය ලබන මැයි 18 වන සඳුදා දින විශේෂ අධිකරණයක් ලෙස රැස්වන බව සෙනෙට් සභාපති ඇලන් පීටර් කයෙටානෝ (Alan Peter Cayetano) අද ප්‍රකාශ කළේය. පිලිපීනයේ වඩාත්ම බලගතු දේශපාලන පවුල් දෙකක් අතර පවතින දැඩි ගැටුම මින් තවදුරටත් උත්සන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පිලිපීන ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්ට (Ferdinand Marcos Jr) හිමිවන්නේ එක් ධුර කාලයක් පමණක් වන අතර, 2028 ජනාධිපතිවරණයේදී ඔහුගෙන් පසු බලයට පත්වීමේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස 47 හැවිරිදි සාරා දුතර්තේ පසුවිය. කෙසේ වෙතත්, මෙම දෝෂාභියෝග නඩු විභාගයෙන් ඇය වරදකරු වුවහොත් ඇයට සිය ධුරය අහිමි වනවා මෙන්ම රජයේ ධුර දැරීම ද තහනම් වනු ඇත.
සාරා දුතර්තේට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතර මහජන මුදල් අවභාවිත කිරීම, පැහැදිලි කළ නොහැකි ලෙස වත්කම් උපයා ගැනීම සහ ජනාධිපති මාකෝස්, ඔහුගේ බිරිඳ මෙන්ම හිටපු කථානායකවරයාගේ ජීවිතවලට තර්ජනය කිරීම යන කරුණු ඇතුළත් වේ. සාරා දුතර්තේ මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. ලබන සඳුදා රැස්වන 24 දෙනෙකුගෙන් යුත් සෙනෙට් මණ්ඩලය නඩු විභාගයට අදාළ නීති රීති සහ ක්‍රියා පටිපාටි පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, නඩු විභාගය ආරම්භ කරන දිනය පසුව ප්‍රකාශයට පත් කරනු ඇත.














