තායිවාන රජය විසින් ඉල්ලා සිටි විශේෂ ආරක්ෂක අයවැයෙන් කප්පාදු කරන ලද අයිතම, දිවයිනේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය බැවින් ඒවා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව තායිවාන රජය අද (බ්‍රහස්පතින්දා) ප්‍රකාශ කළේය. තායිවාන ජනාධිපති ලායි චින්ග්-තේ (Lai Ching-te) විසින් ඉල්ලා සිටි ඩොලර් බිලියන 40 ක විශේෂ ආරක්ෂක අයවැයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණක් එරට විපක්ෂය විසින් පාලනය කරනු ලබන පාර්ලිමේන්තුව පසුගිය සතියේ අනුමත කළේය.
මෙම අයවැය මගින් ඇමරිකානු අවි ආයුධ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති නමුත්, ඩ්‍රෝන යානා වැනි දේශීය ආරක්ෂක වැඩසටහන් සඳහා වන මුදල් කප්පාදු කර ඇත. වොෂින්ටනය අපේක්ෂා කරන මට්ටමේ ආරක්ෂක වියදම් අනුමත නොවීම පිළිබඳව එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පසුගිය ඉරිදා සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. බැලස්ටික් විරෝධී මිසයිල පද්ධති සඳහා වෙන් කළ මුදල් ඉවත් කිරීම ඇතුළුව, සමස්ත හමුදා නවීකරණ වැඩසටහනට මෙමගින් සිදුවන බලපෑම පිළිබඳව තායිවාන අග්‍රාමාත්‍ය චෝ ජුන්ග්-තායි (Cho Jung-tai) දැඩි අවධානය යොමු කර ඇති බව රජයේ ප්‍රකාශිකා මිෂෙල් ලී පැවසුවාය.
ඒ අනුව, ප්‍රතික්ෂේප වූ අයිතම අතිරේක අයවැයක් ලෙස හෝ පවතින වාර්ෂික අයවැය පුළුල් කිරීම මගින් නැවත ඉදිරිපත් කළ හැකිද යන්න පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන තායිවානය තම භූමියක් ලෙස සලකන චීනයෙන් එල්ල විය හැකි තර්ජන මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක වියදම් ඉහළ නැංවීම ජනාධිපති ලායිගේ ප්‍රධාන අරමුණක් වී ඇත.














