ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව කසළ, ග්‍රාමීය මාර්ග සහ පානීය ජලය යන ක්ෂේත්‍රවල පවතින ගැටලු මුළුමනින්ම අවසන් කිරීමේ රජයේ සැලසුම් යටතේ, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වූ **“පිවිතුරු පුරවර”** ජාතික වැඩසටහන නුදුරේදීම මෙහෙයුම් ඇරඹීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ‘Clean ශ්‍රී ලංකා’ වැඩසටහනේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙමඟින්, ඉදිරි වසර 10 ඉක්මවූ කාලයකදී ජනනය වන කසළ ප්‍රමාණය සහ වර්ග පිළිබඳව උපකල්පනය කරමින් වසර 3ක් තුළ නවීන හා විද්‍යාත්මක විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ හරහා පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර, කසළ සම්පතක් බවට පත් කරමින් කසළ ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා දීම මෙහි මූලික ඉලක්කයයි.
මෙම වැඩසටහනට අදාළව දිස්ත්‍රික් මට්ටමේ දෙවන අදියරේ සාකච්ඡා මාලාව මේ දිනවල ක්‍රියාත්මක වන අතර, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්ට අදාළ සාකච්ඡාව ඊයේ (30) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.














