විනාශකාරී දිට්වා චණ්ඩමාරුතය හේතුවෙන් පීඩාවට පත් වූ වැවිලි ප්‍රජාවන්ගේ ජීවිත යළි ස්ථාපිත කිරීම සඳහා කලාපීය වැවිලි සමාගම් (RPC) සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) තම කැපවීම යළිත් තහවුරු කර තිබේ. හදිසි සහන සේවා, පුනරුත්ථාපනය සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඒකාබද්ධ කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු, රාජ්‍ය සහන යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීමට පෙරම එම ප්‍රදේශයන් වෙත ළඟා වූ පළමු සහන කණ්ඩායම් අතර කලාපීය වැවිලි සමාගම්හි සාමාජිකයින් ද සිටියහ. වතු කළමනාකරුවන්ගේ මැදිහත්වීමෙන් ආපදාවට ලක් වූ පවුල් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු අතර, කර්මාන්තශාලා සහ වැවිලි සමාගමේ ගොඩනැගිලි තාවකාලික නවාතැන් ලෙස යොදා ගනිමින් ආහාර, වාසස්ථාන සහ මූලික සහන සේවා සලසා දීමට පියවර ගත්තේය.
මෙම ආපදාවෙන් නිවාස, යටිතල පහසුකම්, ජල සැපයුම් පද්ධති සහ ජීවනෝපාය මාර්ගවලට විශාල හානි සිදුවිය. වැවිලි මානව සංවර්ධන භාරය, අහමඩ් ටී සහ රේන්ෆොරස්ට් එලයන්ස් වැනි හවුල්කරුවන්ගේ දායකත්වයෙන් රුපියල් මිලියන 20කට අධික වටිනාකමින් යුත් සහනාධාර ලබාදීමට කටයුතු කර ඇත. ජල ටැංකි 100ක් බෙදාහැරීම, පොත්පත් සහ සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල සහිත පාසල් බෑග් 2,000ක් ලබාදීම, අත්‍යවශ්‍ය ඖෂධ බෙදාහැරීම සහ පීඩාවට පත් දරුවන් සහ පවුල් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් සංවිධානය කිරීම මීට අයත් වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ද සහාය ඇතිව, බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පානීය ජල පහසුකම්, ප්‍රදේශීය සම්බන්ධතා සහ ළමා සුභසාධන සේවාවන් යළි ස්ථාපිත කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.
ආපදාවෙන් හානියට පත් පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වන විට වේගවත්ව සිදුවේ. ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට කලාපීය වැවිලි සමාගම් එකඟ වී ඇති අතර, කොන්ත්‍රාත්කරුවන් හරහා නොව ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ප්‍රතිලාභීන්ට මුදල් සෘජුව ලබාදීමේ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සඳහා රුපියල් මිලියන 5ක් දක්වා මුදල් සහාය හිමිවන අතර, ඉදිවන සෑම නව නිවසක්ම අවම ජීවන ප්‍රමිතීන්ට (වර්ග අඩි 650, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය, විදුලිය සහ ජල පහසුකම්) අනුකූල විය යුතුය. වසරක් ඇතුළත මෙම නිවාස වැඩසටහන අවසන් කිරීම අපේක්ෂාවයි.















