27 April 2024
#සංවර්ධන

පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ

“සුරැකුමට පරිසරය” තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන රාගම දියගල ළමා උද්‍යානයේදී(බෝයිස් ටවුන්) අද(16) දින ආරම්භ කෙරිණ.

ඒ, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙනි.

රාගම බෝයිස් ටවුන් ප්‍රදේශයේ අක්කර 6 ක භූමීයක පැළ රෝපණය කරමින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

“සුරැකුමට පරිසරය” වැඩසටහන යටතේ අවුරුදු හතරකදී පැළ ලක්ෂ 20 ක් සිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ ඒ ප්‍රදේශ වලට ආවෙණික වූ පැළ වර්ග හා පරිසරයට වඩාත් හිතකර පැළ වර්ග රෝපණය කිරීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ 2021 වර්ෂයේදී පැළ ලක්ෂ 05 ක් සිටුවීමට කටයුතු යොදා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අවම මට්ටමක පවතින වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුනින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ස්ථානවල වන රෝපනය සිදු කිරීමටද සැලසුම් කර තිබේ.

ගෘහ ආර්ථිකයන් නැංවීම සදහා දිගු කාලීන ආර්ථික භෝග බෙදා දීමක්ද මෙහිදී සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට රාගම දියගල ළමා ගම්මානයේ සභාපති ඩෙන්සිල් පෙරේරා සහෝදරතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්.චන්දන, ඇතුලු රජයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *