ආගමික ස්ථාන සංවර්ධනය කිරීම යනු හුදෙක් භෞතික ගොඩනැඟිලි ඉදිකිරීමෙන් ඔබ්බට ගිය සුවිශේෂී කාර්යභාරයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. විහාරස්ථානයක පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
ආගමික ස්ථාන පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් දායක සභා සහ ගුණගරුක පින්වතුන් සිටීම රජයට මෙන්ම සමාජයට ද විශාල ශක්තියක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වන්දනාමාන කිරීමට පමණක් සීමා නොවී, සමාජයට නිවැරදි මඟ පෙන්වන, සාරධර්ම වර්ධනය කරන සහ ජාතික සමගිය ඇති කරන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම රජයේ අරමුණ බව ඇය අවධාරණය කළාය.
සැබෑ සංවර්ධනය අර්ථකථනය කරමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, පොහොසත් හෝ දියුණු රටක් යනු ආර්ථික වශයෙන් පමණක් දියුණු රටක් නොවන බවයි. මිනිසුන්ගේ සිතුවිලි යහපත් වී සමාජයේ සදාචාරය ශක්තිමත් වන දිනකදී පමණක් රට ඇත්ත වශයෙන්ම දියුණු රටක් ලෙස හැඳින්විය හැකි බව ඇය ප්‍රකාශ කළාය.
















