ජාතික බලශක්ති දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව කලාපීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ රජය ආරම්භ කර ඇති බවයි.
ලංකාවේ මෙගාවොට් 56,000ක සුළං බල විභවයක් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, අතීතයේ රුපියල් 25ක් වූ සුළං විදුලි ඒකකයක මිල වත්මන් රජය යටතේ රුපියල් 12-13 දක්වා අඩු කර ඇති බව සඳහන් කළේය. පසුගිය රජය විසින් කිසිදු විධිමත් සැලසුමකින් තොරව රුපියල් 38 වැනි අධික මිලකට සූර්ය බලශක්ති ගිවිසුම් අත්සන් කිරීම ජනතාව මත විශාල බරක් පැටවූ බව ඔහු චෝදනා කළේය.
අනාගත බලශක්ති ප්‍රභවය වන හරිත හයිඩ්‍රජන් පිළිබඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, ඒ හරහා හරිත ඇමෝනියා නිෂ්පාදනය කර දේශීයව පොහොර නිපදවීමටත්, පොසිල ඉන්ධන හා පොහොර ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් රජය සැලසුම් කර ඇත. උතුරු සහ නැගෙනහිර සූර්ය හා සුළං බලය ජාතික පද්ධතියට එක් කිරීමට කිලෝවොට් 400ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කෙරෙන අතර, ස්මාර්ට් මීටර් සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) හරහා විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට අවශ්‍ය පදනම සකසන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සභාවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා විපක්ෂයේ හැසිරීම දැඩිව විවේචනය කළේය. ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සංවිධායකවරුන් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන බවට හඬපට මගින් හෙළි වී ඇති බව ද ඔහු මෙහිදී චෝදනා කළේය.
















