පිරිවෙන් අධ්‍යාපනය තුළින් සමාජයට නිසි නායකත්වයක් ලබා දිය හැකි පිරිසක් නිර්මාණය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙයි. බුද්ධ ධර්මය තුළ අන්තර්ගත උතුම් වටිනාකම් සහ දැනුම පිරිවෙන් සිසුන් වෙත නිවැරදිව සමීප කරවමින්, ඔවුන් තුළ නායකත්ව ගුණාංග වර්ධනය කළ හැකි ගුරුවරුන්ගේ අවශ්‍යතාවය ඇය මෙහිදී අවධාරණය කළාය. පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය යනු හුදෙක් දැනුම ලබා දෙන ස්ථානයක් පමණක් නොව, රටට අවශ්‍ය විනයගරුක සහ ගුණගරුක නායකයින් බිහි කරන මධ්‍යස්ථානයක් විය යුතු බව අග්‍රාමාත්‍යවරියගේ අදහසයි.
මෙම අදහස් ප්‍රකාශ වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති පිරිවෙන් ආචාර්යවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදීය. මෙහිදී භික්ෂූන් වහන්සේලා සහ ගිහි ආචාර්යවරුන් 148 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මින් 101 දෙනෙකු පැවිදි ආචාර්යවරුන් වන අතර, ඉතිරි 47 දෙනා ගිහි ආචාර්යවරුන් වේ. නව පත්වීම් ලැබූ ආචාර්ය මණ්ඩලය වෙත සිය සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරිය, පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් කැපවීමේ වගකීම ද ඔවුන් වෙත සිහිපත් කළාය.












