මහා පරිමාණ කේරළ ගංජා ජාවාරමක නිරත වූ කාන්තාවක් කේරළ ගංජා තොගයක් සහ මුදල් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ හොරණ කඳවුරේ ස්ථාපිත මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර උතුර පොලිස් වසමේ, කුඩා වස්කඩුව ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව “බට්ටි අක්කා” යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන 44 හැවිරිදි වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය “බොම්බුවල නවින්” නමැති ජාවාරම්කරුගේ ජාලයේ සාමාජිකයෙකු වන “කදනආරච්චිගේ නුවන් ඉරේෂ් ප්‍රනාන්දු” යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින්නියක බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
අදාළ වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 02යි ග්‍රෑම් 750ක්, රුපියල් 110,000ක මුදලක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය සහ භාණ්ඩ තොගය කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.











