ඉන්දියාවේ පවතින දැවැන්ත වෙළෙඳපොළ අවස්ථා සහ ඕස්ට්‍රේලියාව සතු තාක්ෂණික විශේෂඥතාව දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක බව අවධාරණය කරමින්, ඉන්දියාවේ දිගුකාලීන ආයෝජන සඳහා එක්වන ලෙස ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර සිටියි. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතා සමඟ එක්ව ‘ඕස්ට්‍රේලියා-ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය’ සහ ‘ආර්ථික මාර්ග සිතියම් ව්‍යාපාරික හමුව’ අමතමින් අග්‍රාමාත්‍ය මෝදි මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය, ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදන පරිසර පද්ධතිය හේතුවෙන් ඕස්ට්‍රේලියානු සමාගම් සඳහා නව අවස්ථා රැසක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. නිෂ්පාදන ක්ෂේත්‍රය, පිරිසිදු බලශක්තිය, තීරණාත්මක ඛනිජ සම්පත්, යටිතල පහසුකම්, නාගරික සංවර්ධනය, ගුවන් සේවා, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් ආර්ථිකය වැනි ක්ෂේත්‍ර හරහා ඉන්දියාව තුළ පුළුල් ආයෝජන අවස්ථා පවතින බව ද ඔහු පැවසීය.
දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා යෝජිත ‘සමස්ත ආර්ථික සහයෝගිතා ගිවිසුම’ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එසේම, ඉන්දියාව තුළ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරීත්වය වර්ධනය වීම පිළිබඳව සතුට පළ කළ අගමැති මෝදි, උසස් අධ්‍යාපනය, පර්යේෂණ සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාව අනාගත ගෝලීය අවස්ථාවන් සඳහා දෙරටේම දක්ෂ ශ්‍රම බලකායක් බිහිකිරීමට උපකාරී වනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
















