මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ ඉන් ඉන්දීය ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා සුවිශේෂී පියවර රැසක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදෙස් විනිමය රට තුළ රඳවා ගැනීම සහ ඉන්දීය රුපියල ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙම සීමා පැනවීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, පෙට්‍රල් සහ ඩීසල් වැනි ඉන්ධන භාවිතය උපරිමයෙන් සීමා කරන ලෙසත්, ඒ වෙනුවට දුම්රිය, විදුලි වාහන හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමුවන ලෙසත් ඔහු උපදෙස් දී තිබෙනවා. මීට අමතරව රටින් පිටතට විදේශ විනිමය ගලායාම පාලනය කිරීම සඳහා විදේශ සංචාර සහ විදේශයන්හි පවත්වන මංගල උත්සව නතර කර ඒ වෙනුවට දේශීය සංචාරක ස්ථාන තෝරාගන්නා ලෙසත්, වසරක් යනතුරු රන් ආභරණ මිලදී ගැනීම සීමා කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා. හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට රාජකාරි කිරීමට (Work from home) යොමුවන ලෙසත්, ඩීසල් වෙනුවට සූර්ය බලශක්තිය වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන්ට හුරුවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ආනයන වියදම් අවම කරගැනීම තුළින් ඉන්දීය රුපියලේ අගය පහත වැටීම පාලනය කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීම මෙම සියලු පියවරයන්ගේ මූලික අරමුණයි.
















