මැලේසියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී අනවසර ඉන්දුනීසියානු සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් මැලේසියානු සමුද්‍රීය බලධාරීන් විසින් ආරම්භ කර තිබේ. පේරක් ප්‍රාන්තයේ පන්කෝර් දූපතට (Pangkor Island) ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ පිරිසක් දුටු ධීවරයෙකු විසින් බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු මෙම මෙහෙයුම් ආරම්භ විය. අනතුරට පත් බෝට්ටුවේ පුද්ගලයන් 37 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 23 දෙනෙකු ප්‍රදේශයේ ධීවර යාත්‍රාවක් මගින් බේරාගෙන තිබේ.
මෙම බෝට්ටුව ඉන්දුනීසියාවේ කිසරන් සිට මැයි 09 වැනිදා ගමන් ආරම්භ කර ඇති අතර එහි සිටි පිරිස ක්වාලාලම්පූර් සහ පිනැන්ග් දූපත බලා ඒමට උත්සාහ කර ඇති බව හෙළි වී තිබේ. තවමත් සොයා ගැනීමට නොහැකි වූ පුද්ගලයන් 14 දෙනා සෙවීම සඳහා සමුද්‍රීය බලායතනය (MMEA) දිගින් දිගටම මෙහෙයුම් සිදු කරයි. මැලේසියාවේ කර්මාන්තශාලා සහ වතුකරයේ රැකියා සොයා මෙලෙස අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් රැගත් අධික ලෙස පටවන ලද බෝට්ටු අනතුරට පත්වීම මෙම මුහුදු සීමාවේ නිරන්තරයෙන් සිදුවන බව වාර්තා වේ. සෑම වසරකම ලක්ෂයකට අධික ඉන්දුනීසියානු ජාතිකයන් පිරිසක් ජාවාරම්කරුවන්ට හසුවී මෙවැනි අවදානම් සහගත මුහුදු ගමන්වල නිරත වන බව සංක්‍රමණික ක්‍රියාකාරීන් පෙන්වා දෙති.
















