කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීමත් සමඟ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් දැඩි නීතිරීති පනවන ලෙස ඉල්ලමින් පෝලන්තයේ වෝර්සෝ නුවර ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට අපූරු විරෝධතාවක් පවත්වා තිබේ.
විවිධ මාදිලියේ රොබෝවරුන් 30 දෙනෙකු පමණ මෙම විරෝධතාව සඳහා එක්වී ඇති අතර, පාබල මානව රූපී (Humanoid) රොබෝවරුන් සහ සිව්පාවුන් බඳු රොබෝවරුන් (Quadrupeds) කොඩි වනමින්, සටන් පාඨ කියමින් සහ වටරවුම් ලෙස ගමන් කරමින් සංකේතාත්මක විරෝධතාවක නිරත වී ඇත. ධ්වනි විකාශක යන්ත්‍ර හරහා “රැකියා ස්ථාන සුරකින්න”, “නීති පැනවීමට කාලයයි” සහ “ප්‍රමාද නොවී නියාමනය කරන්න” වැනි සටන් පාඨ නිකුත් කර ඇති අතර, මෙම විරෝධතාවට එක්වූ Agibot A3 නමැති මානව රූපී රොබෝවරයෙකු AFP පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ මෙම තාක්ෂණය මේ වන විටත් ප්‍රායෝගික යථාර්ථයක් බව පෙන්වා දීමට තමන් මෙයට එක්වූ බවයි. කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පිළිබඳ මහජන කථිකාවතක් ගොඩනැගීම සඳහා ‘Democratism’ සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.














