පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් හා මඟපෙන්වීම් මත ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා කොට්ඨාස සහ ප්‍රාදේශීය මට්ටමින් සියලුම පොලිස් ස්ථාන ඒකාබද්ධ කරමින් දැවැන්ත අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම අරමුණු කරගත් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාව යටතේ 2026 මැයි 25 වන දින දවස තුළ පමණක් පුද්ගලයන් විසිඅටදහස් දෙසිය අනූ දෙනෙකු විශේෂ පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී විවිධ වැරදි සහ සැකකටයුතු හැසිරීම් මත පුද්ගලයන් පන්සිය අනූ හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් තිස් එක් දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව අධිකරණය මඟින් නිකුත් කර තිබූ දින වරෙන්තුකරුවන් තුන්සිය එක් දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් දෙසිය දහනව දෙනෙකු ද මෙම මෙහෙයුමේදී කොටුකර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
එමෙන්ම මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකළ රථවාහන පරීක්ෂාවන්හිදී බේබදු රියදුරන් අනූ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කළ පිරිස්වලට එරෙහිව ද ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත. රට තුළ මත්ද්‍රව්‍ය ජාලයන් සහ සාපරාධී ක්‍රියා සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් ඉදිරි දිනවලදී ද දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















