පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී අද (19) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී පලාගිය සැකකරු විසින් භාවිතා කළ යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබේ. පිළියන්දල – මහරගම මාර්ගයේ පිහිටි නිවසක් ආසන්නයේ තිබූ වත්තක සඟවා තිබියදී මෙම යතුරුපැදිය සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සමත් විය.
සැකකරු පහරදීම සිදු කිරීමෙන් පසු එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන කටයුතු පුළුල් කර ඇත. සොයාගත් යතුරුපැදිය සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු සහ වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
මෙම පහරදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදු කරයි. සැකකරු පලාගිය මාර්ග සහ ඔහු සැඟවී සිටිය හැකි ස්ථාන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඉදිරි පැය කිහිපය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
















