දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල පවතින දැඩි තදබදය කඩිනමින් අවම කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සෘජු යෝජනා සහ ක්‍රියාකාරී අදහස් ලබාගැනීමට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය වැටලීම්, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ පටන් අධිකරණය හමුවේ නඩු පැවරීම දක්වා ක්‍රියාත්මක වන සමස්ත නීතිමය හා විමර්ශන පටිපාටියම පුළුල් සමාලෝචනයකට ලක්කර ඇත.
මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු අවසන් වීමට ගතවන දීර්ඝ කාලය මෙන්ම රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේදී සිදුවන අධික ප්‍රමාදයන් හේතුවෙන් විශාල පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම මෙම පද්ධතිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ. මෙයට විසඳුම් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් දුරකථන සමාගම්වල ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රමවේද අවභාවිත කිරීම වැළැක්වීමට නවීන තාක්ෂණික නියාමනයන් හඳුන්වාදීමටත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිරගත කර තැබීම වෙනුවට ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් වෙත යොමුකිරීමටත් විශේෂ අවධානය යොමු කර ඇත.
තවද, විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කඩිනම් කරමින් අපරාධ විමර්ශන වේගවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළම නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් (Forensic Laboratory) ස්ථාපිත කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූ මෙම රැස්වීමේදී, පවතින නීති කාලීන අවශ්‍යතාවලට ගැළපෙන සේ සංශෝධනය කරමින් පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය පුහුණුව හා සුබසාධනය ඉහළ නැංවීමට ද එකඟතාව පළ විය.
















