කුරුණෑගල පොලිසිය භාරයේ තිබූ යතුරුපැදියක් නිදහස් කර දීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 4,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් නිලධාරියා කුරුණෑගල පොලිසියේ සංචාරක අංශයේ රාජකාරි කරනු ලබන අයෙකි.
පසුගිය දෙසැම්බර් 26 වන දින ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් විසින් මාර්ගයක දමා ගොස් තිබියදී සොයාගත් මෙම යතුරුපැදිය කුරුණෑගල පොලිස් භාරයට ගෙන තිබුණි. එහි හිමිකාරිය මැයි මස 05 වන දින අදාළ ලිපි ලේඛන ද රැගෙන යතුරුපැදිය නිදහස් කර ගැනීමට පොලිසියට පැමිණ ඇත. අදාළ පොලිස් නිලධාරියා යතුරුපැදිය නිදහස් කිරීම සඳහා රුපියල් 5,000ක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව ඇය සතුව තිබූ රුපියල් 4,000ක මුදල ලබාගෙන තිබේ. මුදල් ලබා දුන්නද යතුරුපැදිය නිදහස් කර නොදීම හේතුවෙන් එම කාන්තාව විසින් අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.














