පොලොන්නරුවේ පැරණි නාගරීකරණය, එහි විකාශනය සහ රාජධානියේ බිඳ වැටීමට බලපෑ නියම හේතු සොයා ක්‍රියාත්මක වන දැවැන්ත පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ 5 වන අදියරේ කැණීම් කටයුතු අති සාර්ථකව ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ ලා ට්‍රොබ් (La Trobe) විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම විශේෂ පර්යේෂණ වැඩසටහන සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, යාපනය විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පූර්ණ සහයෝගය ලබා දෙයි.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ පියවි ඇසට නොපෙනෙන, ඝන වනාන්තර තුළ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනාගැනීම සඳහා ලයිඩාර් (LiDAR) තාක්ෂණය සහ පොළොව යට පරීක්ෂා කළ හැකි ජී.පී.ආර් (GPR – Ground Penetrating Radar) වැනි අති නවීන භූ භෞතික විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමයි. ඊට අමතරව සම්ප්‍රදායික කැණීම් මෙන්ම ඕගර් (Auger) කැණීම් ක්‍රම ද මෙහිදී සක්‍රීයව යොදා ගැනේ.
වත්මන් 5 වන අදියර යටතේ ප්‍රධාන කැණීම් ස්ථාන දෙකක් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත:
පොලොන්නරුව ඊසාන දිග කලාපය (පිටත නගරය): පසුගිය වසරේ සිදු කරන ලද ලයිඩාර් තාක්ෂණික ගවේෂණයට අනුව, ඇතුළු නගරයේ සිට මීටර් 1.5ක් පමණ ඈතින් පිහිටි පිටත නගර කලාපයේ පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 70-80ක් පමණ උසැති ගොඩලි 20-30ක් පමණ නිරීක්ෂණය වී තිබේ. මෙම ගොඩලිවල පුරාවිද්‍යාත්මක වටිනාකම සහ ඒවායේ අතීත සම්බන්ධතාවන් හෙළි කරගැනීම සඳහා දැනට කැණීම් ආරම්භ කර ඇත.
ශිව දේවාලය පිටුපස පරිශ්‍රය: අනුරාධපුර යුගයේ අවසානයත් සමඟ (ක්‍රි.ව. 9 වන සියවසේ අගභාගයේදී පමණ) ආරම්භ වූ පොලොන්නරුව නගරයේ මුල් අවධිය පිළිබඳ තොරතුරු සොයාගැනීමට මෙහි ප්‍රාකාර බැම්ම අසල දොරටුව කැණීමට ලක් කෙරේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රදේශයේ සංස්කෘතික ස්ථරවල ගැඹුර මැන බලා, විද්‍යාත්මක කාල නිර්ණයක් (Scientific Dating) ලබාගැනීමයි.
මෙම අති නවීන පර්යේෂණය ඔස්සේ පොලොන්නරුව රාජධානියේ නාගරීකරණයේ නියම ස්වරූපය මෙන්ම එය අතීතයේදී හදිසියේම බිඳ වැටීමට බලපෑ සැබෑ හේතු සාධක රැසක් ඉදිරියේදී පුරාවිද්‍යා ක්ෂේත්‍රයට හෙළි වනු ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා විශ්වාසය පළ කරයි.
















