ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොන්ග්‍රසයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ යෝජනාවක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගෙන තිබේ.
මෙම පියවර මන්ත්‍රීවරුන් 215කට 208ක ඡන්ද ප්‍රතිඵලයකින් අනුමත වූ අතර, ට්‍රම්ප් පාලනාධිකාරියේ යුදමය තීරණ සම්බන්ධයෙන් පක්ෂ භේදයකින් තොරව එල්ල වූ දුර්ලභ විරෝධයක් ලෙස මෙය සැලකේ. මෙම යෝජනාව සඳහා රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද සහාය පළ කර තිබේ. ඉරානය සමඟ පවතින ගැටුම් ආරම්භ වූ පසුබිමක ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට උත්සාහ දැරූ සිව්වන අවස්ථාව මෙය වන අතර, හමුදා ක්‍රියාමාර්ග සඳහා කොන්ග්‍රසයේ නිසි අනුමැතියක් නොමැති බව විවේචකයින් පෙන්වා දෙයි.
මෙම නීති කෙටුම්පත තවදුරටත් ඉදිරියට යාම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලයක් ඇති සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ද අවශ්‍ය වේ. එම අනුමැතිය හිමි වුවද, ජනාධිපති ට්‍රම්ප් විසින් එම යෝජනාව නිෂේධ කිරීමට (Veto) ඉඩ ඇති අතර, එවැනි තත්ත්වයක් තුළ එය බල රහිත කිරීමට කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වේ. දෙපාර්ශවය අතර මෑත කාලීනව ප්‍රහාර හුවමාරු වී තිබුණද, මෙම සති අන්තය වන විට සාකච්ඡා සාර්ථකව අවසන් කළ හැකි බවට ජනාධිපති ට්‍රම්ප් බලාපොරොත්තු පළ කර තිබේ.
















