පිපිරීමෙන් හානියට පත් පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ අනතුරින් රෝහල් සේවකයෙකු මියයාම සම්බන්ධයෙන් රජයේ කණගාටුව පළ කරන බවත්, ඔහුගේ අවමංගල කටයුතු සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවත්ය. එම සේවකයාගේ පවුල වෙනුවෙන් අවශ්‍ය වන්දි ලබාදීමටද රජය කටයුතු කරන බව ඔහු පැවසීය.
අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර, එක් අයෙකු රෝහලෙන් පිටව ගොස් තිබේ. තවත් පස්දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, එක් රෝහල් සේවකයෙකු මියගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සේවකයාට අවශ්‍ය උපරිම ප්‍රතිකාර ලබාදෙන අතර, අවශ්‍ය වුවහොත් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමටද කටයුතු කරන බව ඔහු පැවසීය.
පිපිරීම හේතුවෙන් රෝහල් ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව ඇති අතර, නේවාසික රෝගීන් පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් විමර්ශන ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, පොළොන්නරුව, ඇලහැර, බකමූණ ඇතුළු අවට ප්‍රදේශවල ඩයලිසිස් රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් ලබාදීමටත්, අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















