මෙවර යල කන්නයට අදාළව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වී මිලදී ගැනීමේ වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් මුළුමනින්ම රුපියල් මිලියන 800ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදන යටතේ වී මෙට්‍රික් ටොන් 6,700ක පමණ ප්‍රමාණයක් මිලදී ගැනීම අපේක්ෂා කෙරේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ වී අලෙවි මණ්ඩලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත රුපියල් මිලියන 600ක මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් ලැබී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුසන්ත ඒකනායක මහතා ප්‍රකාශ කරයි. එම අරමුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෙදා දී ඇති අතර, ප්‍රාදේශීය මට්ටමින් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 61ක් මේ සඳහා සෘජුවම සම්බන්ධ කර ගනිමින් වී මිලදී ගැනීමේ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කරමින් පවතී.
ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම සහ දේශීය කෘෂිකාර්මික ආර්ථිකය නංවාලීම අරමුණු කරගනිමින් රජය විසින් ගෙන යන මෙම වැඩපිළිවෙළ හරහා දිස්ත්‍රික්කයේ ගොවිජනතාවට විශාල සහනයක් සැලසී ඇති බව කෘෂිකර්ම අංශ පෙන්වා දෙයි.













