යුරෝපීය රටවල ආරක්ෂක වියදම් ඉහළ යාම රාජ්‍ය තාන්ත්‍රිකභාවය පාවාදීමක් බව ලියෝ පාප්වහන්සේ (Pope Leo) අද (බ්‍රහස්පතින්දා) දැඩි ලෙස විවේචනය කළහ. රෝමයේ සපියෙන්සා විශ්වවිද්‍යාලයේ (Sapienza University) සංචාරයක නිරත වෙමින් සිසුන් අමතා උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
පසුගිය වසරේ යුරෝපීය මිලිටරි වියදම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙය සීතල යුද්ධය අවසන් වූ පසු වාර්තා වූ ඉහළම වර්ධනයයි. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට (SIPRI) අනුව, රුසියානු-යුක්‍රේන යුද්ධය සහ නේටෝ (NATO) සාමාජික රටවල යළි අවි දරා ගැනීමේ ප්‍රවණතාවය හේතුවෙන් 2025 වසරේදී යුරෝපයේ මිලිටරි වියදම් 14% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 864 ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම අවි ආයුධ සඳහා වන වියදම් ‘ආරක්ෂක වියදම්’ ලෙස හැඳින්වීම වැරදි බව පාප්වහන්සේ පෙන්වා දුන්හ. එවැනි වියදම් මගින් ආතතීන් සහ අනාරක්ෂිත භාවය වැඩි වන බවත්, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා වන ආයෝජන දුර්වල වන බවත් උන්වහන්සේ පැවසූහ. එසේම යුද කටයුතු සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතා කිරීමේ පවතින අනතුර පිළිබඳව ද පාප්වහන්සේ එහිදී අනතුරු ඇඟවූහ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට යුරෝපීය මිත්‍ර රටවලට කරන බලපෑම හමුවේ පාප්වහන්සේගේ මෙම ප්‍රකාශය නිකුත් විය. ඉරාන යුද්ධය විවේචනය කිරීම හේතුවෙන් මෑත සතිවලදී පාප්වහන්සේ සහ ට්‍රම්ප් අතර යම් මතභේදකාරී තත්ත්වයක් ද නිර්මාණය වී තිබුණි.














