ස්පාඤ්ඤයේ සතියක නිල සංචාරයක නිරත ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ විසින් අද (ජූනි 07) මැඩ්රිඩ් අගනුවරදී පවත්වන ලද එළිමහන් දේව මෙහෙය සඳහා මිලියන 1.2ක අතිවිශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ. මෙම සුවිශේෂී ආගමික අවස්ථාව සඳහා ස්පාඤ්ඤයේ 6වන ෆෙලිපේ රජු සහ ලෙටිසියා රැජින ද එක්ව සිටීම විශේෂත්වයකි.
සිය සංචාරය අතරතුර ඊයේ (ජූනි 06) සවස රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ නිල ක්‍රීඩාංගණය වන ‘සාන්තියාගෝ බර්නාබියු’ අසල පාප් වහන්සේ විසින් පැවැත්වූ විශේෂ යාඥා මෙහෙයට ලක්ෂ 5කට අධික පිරිසක් සහභාගී වූ අතර, ඉන් බහුතරය තරුණ තරුණියන් වීම කැපී පෙනුණි.
පාප් වහන්සේ සිය සංචාරයේ ඉදිරි වැඩසටහන් ලෙස බාසිලෝනා නගරයේ පිහිටි සුප්‍රසිද්ධ ‘සග්‍රදා ෆැමිලියා’ බැසිලිකාවේ අලුතින් ඉදිකළ කුළුණක් විවෘත කිරීමටත්, කැනරි දූපත් වෙත වැඩම කර එහි වෙසෙන සංක්‍රමණිකයන් හමුවීමටත් නියමිතය. මෙම සංචාරයේ වඩාත් ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකෙන්නේ උන්වහන්සේ ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව ඇමතීමයි. ඒ අනුව, ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවක් ඇමතූ ලොව පළමු පාප් වහන්සේ ලෙස 14 වැනි ලියෝ පාප් වහන්සේ ඉතිහාසයට එක් වනු ඇත.
















