කොළඹ වරාය නගරයේදී (Port City) චීන ජාතිකයන් පිරිසක් විසින් පැහැරගෙන යන ලද චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩ, කරඳන කැලෑබද ප්‍රදේශයක ගල් ගොඩක සඟවා තිබියදී සොයාගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් දෙදෙනෙකු මෙරටින් පළායාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අද අලුයම වරාය නගරයේ මාළු බාමින් සිටි චීන ජාතිකයන් තිදෙනෙකුට පහර දී මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් තිබූ අතර, සැකකරුවන් දමාගිය වෑන් රථයේ තිබී වායු පිස්තෝලයක් ද සොයාගෙන තිබේ. මළසිරුර සඟවා තිබූ ස්ථානය අසල තිබී සැකකරුවන් පැමිණි මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, සිද්ධිය පිළිබඳ කඩිනම් හා පුළුල් විමර්ශනයක් පවත්වා චීන පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටියි. එමෙන්ම මෙරට වෙසෙන සිය පුරවැසියන්ට ද ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් වන ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙයි.














