එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර, එමගින් රථ වාහන නැවැත්වීම ඇතුළු මාර්ගෝපදේශ ලබා ගැනීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි. අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, දන්සැල් පැවැත්වීම වැළැක්වීමක් සිදු නොවන නමුත් ඒවා විධිමත් ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කළේය.
තවද, රිය අනතුරක් සිදුවූ පසු එය මහමාර්ගයේදීම සමතයකට පත්කර පොලීසිය දැනුවත් නොකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ඕනෑම රිය අනතුරක් පැය 24ක් ඇතුළත පොලීසියට වාර්තා කිරීම රියදුරන්ගේ වගකීමක් බවත්, එසේ නොකිරීම අනතුරක් වාර්තා නොකිරීමේ වරදක් ලෙස සලකා දඬුවම් ලැබිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, වසරේ මේ දක්වා වූ කාලය තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ 7,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය වසරට සාපේක්ෂව මාරක රිය අනතුරු 98ක සහ මියගිය සංඛ්‍යාවේ 104ක වැඩිවීමක් පැවතියද, සතිපතා වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාව මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, ඒ සඳහා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.
















