ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, අමෙරිකානු එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරල් කෙවින් බී. ෂ්නයිඩර් (Kevin B. Schneider) මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර නිල හමුවක් ඊයේ (23) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. දෙරට අතර පවතින මිත්‍රත්වය සහ ආරක්ෂක අංශ වෙනුවෙන් එක්සත් ජනපදය ලබාදෙන අඛණ්ඩ සහයෝගය මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් විශේෂයෙන් අගය කරනු ලැබීය.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ ධාරිතා සංවර්ධන වැඩසටහන් (Capacity Building) ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කර ගැනීමටය. වෘත්තීයමය අත්දැකීම් හුවමාරු කර ගැනීම මගින් ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ස්ථාවර කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ආරක්ෂක ලේකම්වරයා, නැගී එන තාක්ෂණික සහ උපායමාර්ගික අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ ඔස්සේ අනාගත සහයෝගීතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම එකඟතාවය පළ විය.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් (Matthew House) මහතා ද එක්ව සිටි අතර, මෙය දෙරටේම ආරක්ෂක අංශවල අනාගත සහයෝගීතාව සඳහා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. කලාපීය ආරක්ෂාව සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් කටයුතු කිරීමට දෙපාර්ශවයම සිය කැමැත්ත පළ කර තිබේ.
















