රුපියල් හත් කෝටි විසි දෙලක්ෂයක් වටිනා “හෂීෂ්” සහ “කුෂ්” වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළින් පිටව යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 05 දෙනෙකු ඊයේ (28) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන්නන් වන අතර, ඔවුන් අතර එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු වේ. ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 405 දරන ගුවන් යානයෙන් අලුයම 04.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම සැකකරුවන් නවීන උපක්‍රමයක් භාවිත කරමින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 110ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ග්‍රෑම් 062ක් වීදුරු බෝතල් 15ක අසුරා තිබුණි. හඳුනාගැනීම වළක්වා ගැනීම සඳහා එම බෝතල් කටුනායක ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ නම සඳහන් පොලිතීන් බෑග්වල අසුරා තිබීම විශේෂත්වයකි.
















