ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමට මත්තෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනාවරණය කර තිබේ.
පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 04) ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවූ ශ්‍රේෂ්ඨාධිකරණය, ලබන ඔක්තෝබර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය. කෙසේ වෙතත්, අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීමට සී.අයි.ඩී.ය පියවර ගන්නා විට, ජයසේකර මහතා පසුගිය අගෝස්තු 31 වැනිදා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර, මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා කර තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී පසුව අභියාචනාධිකරණයෙන් නිදහස් වූ ප්‍රේමලාල් ජයසේකර, නිලන්ත ජයසිංහ සහ වජිර දර්ශන ද සිල්වා යන මහත්වරුන්ට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නියෝගය නිකුත් කෙරිණි.














