ජනතාවගේ බදු මුදලින් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය මධ්‍යයේ ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබා ගැනීම් සම්බන්ධයෙන් සංජය මහවත්ත මහතා දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
සාමාන්‍ය ජනතාව පරිප්පු ඇටයට, හාල් මුට්ටියට මෙන්ම පෙට්‍රල් සහ ඩීසල් සඳහා පවා බදු ගෙවන අතර, එම අසරණ ජනතාවගේ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පොම්ප කරන අවස්ථාවක ඇතැම් දේශපාලන කුමාරවරුන් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනු හරහා කෝටි ගණන් අල්ලස් ලබාගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. අල්ලස් කොමිසම විසින් මෙම වංචා අනාවරණය කර තිබියදීත්, ඇතැම් පාර්ශ්ව දේශපාලන රැස්වීම් අරමුණු කරගනිමින් මේවා දේශපාලන පලිගැනීම් ලෙස හංවඩු ගැසීම දැඩි ලෙස හෙළා දකින බව ඔහු සඳහන් කළේය. වංචා සහ දූෂණවලදී දේශපාලන නායකයන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙසත්, එවැනි වැරදිවලට සහයෝගය දැක්වීම මතු පරම්පරාවටම බලපාන විනාශයක් බවත් සංජය මහවත්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














