27 April 2024
#දේශීය

පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වීම ආරම්භ කළා – මැතිවරණ කොමිසමේ සභාපති

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” හමුවේ හෙතෙම පැවසිය.

මෙම කරුණු ඉදිරිපත් වුයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (08) පස්වරුවේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි සාමාජිකයන්, ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස 4කට පමණ පෙර, ඊට සුදානම් වීම අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව, වෙනසක් නොමැතිව, පවතින නීතිමය තත්ත්වය යටතේ ම පළාත් පාලන ඡන්ද පැවැත්වෙන්නේ නම්, 2022 ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීමට සිදුවන බවයි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්.පීරීස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා , විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, එම්.යු.එම්.අලි සබ්රි යන අමාත්‍යවරුන් සහ ජීවන් තොන්ඩමන්, රවුෆ් හකීම්, අනුර දිසානායක, කබීර් හෂීම්, ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුන්ය.

විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණධීර මහත්මිය සඳහන් කළේ කාරක සභාව යළිත් දෙසැම්බර් 20 වනදා රැස්වීමට නියමිත බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *