පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීමේ සහ නියාමනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය සහ නියාමනය දැනට පළාත් සභා මට්ටමින් සිදු වේ. ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කෙරෙන අතර, ඒවායේ නියාමන කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරනු ලබයි.
ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන හේතුවෙන් නියාමන ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති අතර, මෑතකාලීනව දරුවන් අනාරක්ෂිත වූ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇත. මෙම තත්ත්වය මගහරවා ගැනීමටත්, පවතින නීති සහ ප්‍රතිපත්ති වඩාත් දැඩිව ක්‍රියාත්මක කිරීමටත් නව මාර්ගගත පද්ධතිය සහායක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පෙර පාසල් හිමිකරුවන්, ගුරුවරුන්, පාලිකාවන් මෙන්ම දෙමාපියන් ද පවතින සහ යෝජිත ප්‍රමිතීන් පිළිබඳව දැනුවත් කිරීම මෙම නව වැඩපිළිවෙළේ තවත් එක් අරමුණකි. එමගින් මුල් ළමාවිය අධ්‍යාපනයේ සහ රැකවරණයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වේ.














