ලබන ජූලි මස පළමුවනදා වනවිට දිවයිනේ සියලුම පෙර පාසල් ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. එලෙස ලියාපදිංචි වීමට කටයුතු නොකරන පෙර පාසල්වල නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
ලියාපදිංචි කරන ලද පෙරපාසල් වෙත පමණක් තම දරුවන් යොමු කරන ලෙස දෙමව්පියන් දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද අමාත්‍යවරිය අවධාරණය කළාය. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ දකුණු පළාතේ පෙර පාසල් පද්ධතිය මුහුණ දෙන ගැටලු පිළිබඳව ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සමඟ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














